HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

‘දිට්වා‘ වැනි සුළි කුණාටු ඇති වන්නේ කුමක් නිසාද?

සුළි කුණාටු ඇති වීමට බලපාන අවපීඩන තත්වයන් ඇති වීම බෙංගාල බොක්කේ සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. හැම අවපීඩන තත්වයක් ම සුළි කුණාටු බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේම සුළි කුණාටු බවට පත් වුවත් ඒවා කැරකී ඉන්දියාව දෙසට යාමයි බොහෝ විට සිදු වන්නේ. දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වූ පළමු වන සුළි කුණාටුව නොවේ. ඒවායේ තත්වයන් ගණනාවක් 1957 මෙවැනි සුළි කුණාටු තත්වයක් නිසා ඇති වූ ගංවතුරෙන් අහිමි වූ ජීවිත ගණන 200ක්. ඉන්පසු 1964දීත් ඇති එවැනි ම තත්වයකින් 206 දෙනකුගේ ජීවිත නැති විය. ශ්‍රී ලංකාව එතෙක් මුහුණ දුන් දරුණුම සුළි කුණාටු තත්වය එයයි. එය ත්‍රිකුණාමලයේ සිට මන්නාරම දක්වා ගිය නිසා විශාල වශයෙන් හානි සිදු විය. 


දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව වෙළා ගත් අන්දම

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNDRR) තොරතුරුවලට අනුව ගංවතුර සහ සුළි සුළං හා තද සුළං හේතුවෙන් 1978 දී 874 දෙනකු ද 1989 දී 240ක් ද 2003 දී 374ක් ද මිය ගොස් තිබේ. මෙවර ඇති වූ සුළි කුණාටු තත්වය හා එයින් ඇතිවූ ආපදා තත්වය අද (14 වැනිදා) වන විට කෙබඳු දැයි විමසා බලමු. 

2025 දී ඇති වූ සුළි කුණාටුවෙන් හා නායයාම් ආපදා හේතුවෙන් මෙතෙක් මියගිය ගණන 640කි. අතුරුදන් වූවන් 211කි. විසි එක් ලක්ෂයකට වැඩි ජනතාවක් අවතැන් ව සිටිති. මෙතෙක් සියලු ආපදාවලට වඩා මෙවර තත්වය වෙනස් වන්නේ එය මුළු ශ්‍රී ලංකාවට ම එකසේ බලපෑම නිසයි. 

රට තුළ මහා මාර්ග මෙන් ම අතුරු මාර්ග සියල්ල සියල්ලම බිඳ වැටුණි. ප්‍රධාන පාලම් 20ක් කඩා වැටුණි. උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ම විනාශ විය. කොත්මලේ, ගම්පොළ, වැලිමඩ, උඩුදුම්බර, පේරාදෙණිය, සරසවි ගම, අලවතුගොඩ, වැලිමඩ වැනි ප්‍රදේශවලට විශාල ලෙස හානි සිදු විය. 

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ නිරක්ෂය හෙවත් සමකයට ආසන්නව නිසා ඒ ආසන්න මුහුදේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් වැඩියි. කුණාටුවක් හැදෙන්න සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක්වත් තිබිය යුතුයි. ඊට අඩු වුණොත් කුණාටු තත්වයක් ඇති වන්නේ නැහැ. එහෙත් පසුගිය සතියේ ශ්‍රී ලංකාව අවට ම්හ්දේ උෂ්ණ්ත්වය සෙල්සියස් අංශක 30 වඩා වැඩියෙන් තිබූ බව වාර්තා වෙයි. 

දිට්වා සුළි කුණාටුව කළ හානිය ගැන දැනටමත් ඔබ දන්නවා ඇති. සමහර විට ශ්‍රී ලංකාවේ ජීවත්වන්නේ නම් අත්දකින්නටත් ඇති. නැතිනම් විදේශිකව ජීවත්වන්නේ නම් ඔබේ ඥාතිමිත්‍රාදීන් මේ ආපදාවට මුහුණ දෙන්නට ඇති. ගෝලීය උණුසුම වැඩි වීම තමයි කුණාටු ඇතිවීමට ඍජුව ම බලපාන්නේ. සාගරයෙන් තමයි සුළි කුණාටුවලට ශක්තිය ලැබෙන්නේ. මුහුදු මට්ටමේ මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27කට වඩා වැඩි වූ විට තමයි ඒ ශක්තිය ජනිත වන්නේ. 

අපේ ශ්‍රී ලංකාව වටා සාගරයේ මතුපිට උෂ්ණත්වය අංශක 30 වඩා වැඩි අගයක් ගන්නවා. මේ තත්වය තමයි, කුණාටු ඇති වීමට මග පාදන්නේ .මුලින් ම අවපීඩන තත්වයක් මුහුද මතුපිට ඇති වෙනවා. මේ අවපීඩන තත්වය තමා මුහුදෙන් ශක්තිය ලබා ගෙන පසුව සුළි කුණාටු තත්වයක් දක්වා වර්ධනය වන්නේ. මෙහිදී මුහුදෙන් වාෂ්පීකරණය වූ ජලය මේ සුළි කුණාටුව විසින් උරා ගෙන එය ගමන් කරන කලාපයේ ගොඩබිම තුළ තද වැසි ඇති කරනවා. ඒ වගේ ම මුහුදේ සුනාමි රළ වැනි රළ ඇති කරනවා. ඒ විතරක් නොවෙයි දරුණු සුළං ඇති කරනවා. මුලින් ම ඇති වන්නේ වායුගෝලයේ සුළු කැළඹීමක්. පසුව ඒක අවපාතයක් බවට පත් වෙනවා. ඊළඟට සුළං රටාව අනුව එ්ක සුළියක් විධියට කැරකෙන්න පටන් ගන්නවා. ඒක කැරකෙන වේගය කි.මී. 69ට වැඩි වුණා ම අපි ඒකට කුණාටු තත්වයක් කියා කියනවා. ඊළඟට ඒ වේගය කි.මී. 119ට වඩා වැඩි වුණාම ඒකට අපි සුළි කුණාටුවක් කියලා කියනවා. 

මේ දිට්වා යන මේ සුළි සුළඟට තැබුවේ කොහොම ද? 

මෙසේ සුළිසුළං සඳහා නම් තබන්නේ වසරකට හමසකට වරක් රැස් වෙන සුළි සුළං ඇති වන කලාපය භාර ආයතන පහක් විසිනුයි. ලෝක කාලගුණික සංවිධානය විසින් මෙහෙයවනු ලබන මේ ආයතන නම් ESCAP/WMO ටයිෆූන් කමිටුව, WMO/ESCAP නිවර්තන සුළි සුළං මණ්ඩලය, RA I නිවර්තන සුළි සුළං කමිටුව, RA IV සුළි සුළං කමිටුව, RA V නිවර්තන සුළි සුළං කමිටුව යන ඒවායි. ලෝක කාලගුණික සංවිධානයට අයත් සාමාජික රටවල ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවා විසින් තමයි මේ සඳහා නම් යෝජනා කරන්නේ. මේ සඳහා යොදන නම් තෝරාගන්නා පදනම වන්නේ ඒ ඒ කලාපවල ජනතාවට හුරුපුරුදු, ඇසූ පමණනින් සුළි සුළඟක් යැයි අවබෝධ කර ගැනීමට පහසු වන. ඒ වගේ ම මතක තබා ගැනීමට පහසු කෙටි නම් වීමයි. කලින් පුද්ගල නාම, විශේෂයෙන් ම කාන්තා නම් තැබීම සිදුවුවත් එය කාන්තාවන්ට කරන අපහාසයක් ලෙස සලකා ඒ ක්‍රමය බැහැර කර තමයි, මේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ. සාමාජික රටවල් ලබා දෙන මේ නම් රටේ නම අනුව ලැයිස්තු ගත කෙරනවා. 

ශ්‍රී ලංකාවෙන් සුළි කුණාටු සඳහා යෝජනා කර ඇති නම් ලැයිස්තුව මෙසේය: අසනි, ශක්ති, ගිගුම්, ගගන, වේරම්භ, ගර්ජනා, නීබා, නින්නාද, විදුලි, ඕඝ, සලිත, රිවි, රුදු යන ඒවාය. 

ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවට ඒ නම යෝජනා කළේ යේමනයයි. මීළඟ සුළි කුණාටුවට නම් තැබීමේ වරම හිමි වන්නේ බංග්ලා දේශයටයි. එරට ඉදිරිපත් කර ඇති නම් අතරින් තෝරා ගෙන ඇත්තේ ඔර්නාබි යන නමයි. 

අවපීඩන තත්වයක් කෙමෙන් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත් වන මොහොතේ දී තමයි, ඊට නම් තැබීම සිදු කරන්නේ.

අදහසක් පළ කරන්න

0 Comments